Showing posts with label දැනුම. Show all posts
Showing posts with label දැනුම. Show all posts

Tuesday, August 1, 2017

ජපන් කිමෝනාව






ජපානය සුන්දර රටක්. ඒ නිසයි ආසියාවේ මනාලිය නමින් ජපානය විරුදාවලි ලබන්නෙත්. එහි සංස්කෘතිය මුළු ලෝකයේම ආකර්ෂණයට ජපානය හසුවන පරිදි නිර්මාණය වූවකි. ආසියාතික රටක් ලෙස ලෝකය තුළ යහපත් ප්‍රතිරූපයක් ගොඩනගාගත් රටක් ලෙස ජපානය හැඳින්විය හැකිය.
මේ ප්‍රවේශය ජපානයේ කිමෝනාව පිළිබඳ ගිමන්හලේ සංචාරයෙන් ඔබව දැනුවත් කරන්න. ජපානයේ චිරාගත සම්ප්‍රදායික ඇඳුම ලෙස ලෝකයම පිළිගන්නේ කිමෝනාව. අනෙක් හැම රටකටම වගේම ජපානයේ ජාතික ඇඳුම ලෙස නම් කරන්නෙත් මේ කිමෝනාවමයි. කිමෝනාව ඉතාමත් සංවර ඇඳුමක්. මෙය ජපානය සතු සාම්ප්‍රදායිකත්වයේ අනන්‍යතාවය ලොවටම කියාපාන සංකේතයක්.  ඒ කිමෝනාව ජපානයට පමණක් සුවිශේෂී ඇඳුමක් වන නිසාය.




සාමාන්‍යයෙන් බහුලවම කිමෝනාව නිර්මණය කරන්නේ සේද රෙදි යොදාගෙනය. එසේම කපු, වූල් හා ලිනන් රෙදි ද මේ සඳහා යොදා ගනියි. කපු රෙදි වලින් මසන කිමෝනාව බහුලවම භාවිතා කරන්නේ ග්‍රීෂ්ම ඍතුවේදී ය. සාමාන්‍යයෙන් කිමෝනාවක ස්වභාවය නම් විශාල අත් සහිතව උරහිසේ සිට දෙපතුල් දක්වා දිගට නිර් මාණය කිරීමයි. කිමෝනාව කොටස් කීපයකින් යුක්ත වේ.බඳ වටා ‘ඔබි ’ නැමැති පළල් පටියක් බඳිනු ලැබේ. මේ ආකාරයෙන් කිමෝනාව නිමවේ. කිමෝනාව සඳහා ම විශේෂිත වූ ලි සෙරෙප්පු කුට්ටමක් හා විශේෂිත මේස් කුට්ටමක් භාවිත කරයි. මේ සෙරෙප්පු කුට්ටම ‘සෝරි ’ යනුවෙන් හා මේස් කුට්ටම ‘තබි’ යනුවෙන් ද හඳුන්වයි.
කිමෝනාව ජපානයේ ගැහැණු හා පිරිමි දෙපාර්ශවය ම භාවිත කරයි. විවාහක කාන්තාවන් ‘තොමෙසොදෙ’ නමින් හඳුන්වන කිමෝනාව භාවිත කරයි. ඒ කිමෝනා වර්ගයේ අත් කොටට නිර්මාණය කරයි. අවිවාහක කාන්තාවන් ‘ෆුරිසොදෙ’ යනුවෙන් හඳුන්වන අත් දිගට නිර්මණය කරනු ලබන කිමෝනා වර්ගය භාවිතා කරයි.  
සාමාන්‍යයෙන් කිමෝනාව අඳින පුද්ගලයාගේ වයස, සමාජ තත්වය ආදී කරුණු මත අඳිනු ලබන කිමොනාවේ වර් ණය හා විලාසිතාව වෙනස් වේ.  
බටහිර ඇඳුම් සමඟ සසඳන විට කිමෝනාව සංවර හා අවෘත ඇඳුමකි. නමුත් මෙය ඇඟලා ගැනීමට ගතවන කාලය වැඩිය. ඒ වෙනුවට ‘යුකතා’ නම් වූ සැහැල්ලු පහසු කිමෝනාවක් උෂ්ණ කාලයේදීත් උත්සව සංදර්ශන අවස්ථා වලදීත් ඇඳීමට යොදා ගනියි.
අතීතයේදී මේ කිමෝනාව සුලභ ඇඳුමක් වුවද වත්මනෙහි නම් මෙය දුලභ දසුනක් වී ඇත. එහිදී  කිමෝනාව ඇඳීමට වැඩි වෙලාවක් ගත වීම ආදී කරුණු ද බලපාන්නට ඇත. අද කිමෝනාව අඳිනු ලබනු දැකිය හැක්කේ උත්සව අවස්ථා වලදී පමණි. ඒ උත්සව ලෙස ෂිචි ගො සාන්, විවාහ උත්සව,අවමංගල අවස්ථා, නව අවරුදු උත්සව, බෝනික්කන් උත්සවය, තේ පාන උත්සවය, වැඩිවියට පත්වීමේ උත්සව  හා උපාධි උත්සව ආදියයි.

ජපන් සංස්කෘතියේ එන කිමෝනාව පිලිබඳ වතගොත මේ ආකාරයෙන් කැටි කර දැක්විය හැකිය. ගොඩවෙන්න ගිමන්හලට  දැනුම වෙත වතගොත එකතු කරගන්න
. 

Monday, July 17, 2017

ලොව බලගතු ‘ඕම්’ අක්ෂරය


ඕම් අක්ෂරය පිළිබද ඔබ නොදන්නා දේ බොහෝය. පෞරාණික හින්දු ඉගැන්වීම් හා නවීන Quantam Physics සොයාගැනීම් අනුව විශ්ව ආරම්භයෙදී පැවත තිබෙන්නේ විශ්වීය ශබ්ද තරංග යි. මේ විශ්වීය ශබ්දය ‘ඕම්’ ලෙස ඇසුණු බව යෝග ඍෂිවරුන් පවසා ඇත. මේ අනුව  ‘ඕම්’ යනු විශ්ව ශක්තියයි. ලොව බලගතුම අක්ෂරය මෙය යැයි බොහෝ දෙනාගේ අදහසයි. ‘ඕම්’ ශබ්දයේ ශක්තියෙන් අපව ජීවත් කරවන ප්‍රාණ ශක්තිය නිර් මාණය වූ බව ද පවසයි. ඒ නිසා ඕම් ශබ්දය ජප කිරීමෙන් අපේ අභ්‍යන්තරයේ තිබෙන ශක්තිය අවදි කළ හැකි වේ.
 මේ තුළ ගුප්ත බලයක් අඩංගුය. ඒ බලය නිසාම විශාල ප්‍රමාණයක් මන්තර නිර්මාණයේදී මේ වචනය ඇතුළත් වනු දැකගත හැකිය. ‘ඕම් ’ කාරය තුළ ගැබ් වී තිබෙන ශක්තිය ලබාගන්න නම් එය නිවැරදි ලෙස ජප කිරීම අවශ්‍ය ය. එසේම මෙම වචනයේ තිබෙන බලය නිසා එය දෙවියන්ගේ වචනය ලෙස ද ඉන්දියානු පොත් පත් වල සඳහන් වේ.  මෙය ගණ දෙවියන්ගේ අක්ෂරය ලෙස ද හදුන්වයි. දමිළ භාෂාවේදී ඕම් අක්ෂරය එල්ලා වැටෙන හොඩවැලක් සේ නිර් මාණය වීම ද මෙහිදී සුවිශේෂීය. ශ්‍රීමත් භගවත් ගීතිකාව, හථයෝග ප්‍රදීපිකාව, මණ්ඩුක උපනිෂද්, ගෙරන්ඩ සම්හිතා, ශිව සාහිත්‍ය යන වේද ග්‍රන්ථ වල ඕම් ශක්තිය ගැන බොහෝ තොරතුරු සඳහන් වේ.



හින්දු ආගමේ මුලිකම මන්ත්‍රය ‘ඕම්’ මන්ත්රයයි. එය සෑම මන්ත්‍රයකම මුලාශ්‍රයයි. මෙම හේතුන් නිසා හින්දු දහමේ පවතින මූලිකම හා බලවත් මන්ත්‍රය ලෙස මෙය හැඳින්වෙයි. සියලුම හින්දු යාඥා වල පෙර හා අවසාන පදය මෙයයි. සමහර මන්ත්‍ර යම් දෙවියෙක් උදෙසා ගායනා කළ ද ඕම් ශාන්ති මන්ත්‍රය හා ගයත්‍රී වැනි මූලික මන්ත්‍ර සදාතනික යථාර්තය උදෙසා ලියවී ඇති බව මතයයි.
එකදිගට ඕම් කාරය ශ්‍රවනය කිරීමෙන් මොළයෙන් ඇල්ෆා නම් කිරණක් පිටවෙන බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. ඇල්ෆා කිරණ පිටවෙන්නේ සිත සමාධි ගත වෙන වෙලාවටය. සුළු වෙලාවක් හෝ ඕම් කාරය භාවිතයට ගැනීමෙන් ඔබ පෙලෙන්නා වූ බොහෝ ව්‍යාදි වලට සහනයක් ලබාදිය හැකිය. ඕම් වචනය ශබ්ද නගා කිව්වත් ඒ තුළින් අසීමිත සහනයක් ලැබෙන බව පවසයි. අධ්‍යාත්මික සුවය වගේම මිනිසාට භෞතික කටයුතු සඳහා ද මින් ලැබෙන සහනය අපමණය.
ඕම් කාරය භාවනාවක් ලෙස කළහැකි නම් අදහාගත නොහැකි ප්‍රථිපල ලගා කරගැනීමට මඟක් වේ.


Sunday, June 11, 2017

බහු විවාහයේ සංස්කෘතික පසුබිම


බහු විවාහයේ සංස්කෘතික පසුබිම



“විවාහය” සංස්කෘතික අංගයකි. මෙය විවිධ සංස්කෘතීන්, ආගම් තුළ විවිධාකාරයෙන් සිදු කරයි. විවාහ වර්ගයක් වශයෙන් “බහු විවාහ” හඳුන්වා දිය හැකිය. බහු විවාහය අප නොදන්නවා වුවද සෑම ආගමක් තුළම සිදු වන සංස්කෘතික අංගයකි. ඒ සඳහා අතීතය සාක්ෂි සපයයි. අද මෙය නවමු මුහුණුවරකින් ව්‍යාප්ත වේ. වර්තමානයේ සංස්කෘතිකමය වශයෙන් මේ සඳහා අනුමැතිය ලැබී ඇත්තේ මුස්ලිම් සංස්කෘතියට පමණක් වුවද, බටහිර රටවල් තුළද ව්‍යාප්ත වේ.


බහු විවාහය බහු පුරුෂ විවාහ හා බහු ස්ත්‍රී විවාහ වශයෙන් ක්‍රියාත්මක වෙයි. බහු පුරුෂ විවාහයේදී එක් ස්ත්‍රියක් සමඟ පිරිමින් කිහිප දෙනෙක් විවාහ සබඳතා පැවැත්වීම මෙහිදී සිදු වේ.මෙම ක්‍රමය බහුල වශයෙන් අස්කිමෝ ගෝත්‍රිකයන් අතර ද, ග්‍රීන්ලන්තයේ වැසියන් අතරද, දකුණු අමෙරිකාවේ ක්‍රෝ වැසියන් හා හිඩැට්සා වරුන් අතර ඉතාමත් ජනප්‍රිය විවාහ රටාවකි.මේ ආකාරයෙන්ම ලංකාවේ උඩරට සමහර ප්‍රදේශ වල සිංහලයන් අතරද බහු පුරුෂ විවාහ ක්‍රමය දක්නට ලැබිණි. මැක්විසාන් ගෝත්‍රිකවාසීන් අතරත්, ටිබෙට්වරුන් අතරත, ඉන්දියාවේ නීලගිරි කඳු ආශ්‍රිතව ජීවත් වන ටෝඩා ගෝත්‍රිකයින් අතර ද මේ ක්‍රමය දක්නට ලැබිණි.


බහු ස්ත්‍රී විවාහ තුළදී සිදුවන්නේ පිරිමියෙක් එකම පවුලේ සහෝදරියන් සමඟ විවාහ සම්බන්ධතා පැවැත්වීමයි.  බහු ස්ත්‍රී විවාහ බොහෝ කාර් මික රටවල දක්නට නොමැති අතර ලෝකයේ පැතිර පවත්නා ක්‍රමයක් බවත් මර් ඩොක්ගේ World’s Ethonographic

Sample වාර් තාව අනුව 70% ක් ලෝකයේ සමාජ වල මෙය සිදුවන බවට සාක්ෂි සපයයි. අරාබි භාෂව කතා කරන මුස්ලිම් ලෝකයේ මෙය ප්‍රමුඛ වන අතර බහු ස්ත්‍රී විවාහ සාමකාමී ගෘහ ජීවිතයක් ඒක විවාහ පවුලක මෙන් අපේක්ෂා කළ නොහැකිය.

සිංහල සංස්කෘතියේ  එකගෙයි කෑම

සිංහල ජන සමාජයේ අතීත රජවරුන්ට භාර්යාවන් එක් අයෙකුට වඩා වැඩියෙන් සිටි බව කියයි. මහනුවර යුගය වන විට අගබිසව හඳුන්වන ලද්දේ “රන්දෝලිය” වශයෙනි. දෙවැනි බිසව “රිදිදෝලිය” ලෙස ද, තුන්වැනි බිසව “යකදදෝලිය” ලෙස හා “දුක්ගන්නා උන්නාන්සේලා”, “පල්ලේ වාහලය” ලෙස පොදු නම් වලින් අනෙක් බිසව් හැඳින්වීමට යොදා ගන්නා ලදී. බහු භාර් යා විවාහ පොදු සමාජයා විසින් පහත් හැසිරීමක් වශයෙන් සලකන අතර වර් තමානයේ එය ගර් භිත කාර් යයක් සේ සලකා බැහැර කොට තිබේ. විවහය නීතිගත කිරීමෙන් පසු සිංහල සමාජයේ එක් බිරියකට වඩා තබාගත නොහැකි විය. එසේ කිරීමට පළමු බිරිය දික්කසාද කළයුතු විය. අතීතයේ පැවතියේ “සම්මත” විවාහයක් වන බැවින් ප්‍රභූ පන්තිය හා පාලකයෝ ඒක බිරියකට වඩා තබා ගන්න ලදී.

17 වන සියවසේ අවසානයේ බහු පුරුෂ විවාහ පැවති බව රොබට් නොක්ස් පවසයි. අතීතයේ ලංකාවේ උඩරට විවාහයේ තොරතුරු සඳහන් කරන නොක්ස්, ඩේවි, නෙවිල්, ෆෙයිලි, ඩොයිලි වැනි අයගේ වාර් තා වලට අනුව “එකගෙයි කෑම” පැවති බව තහවුරු වේ.

උඩරට පැවති බහු පුරුෂ විවාහය යුරෝපීය සන්කෘතියත් සමඟ ගැටීමෙන් ශතවර් ෂ එකහමාරකට පමණ පසු පහතරට ප්‍රදේශවල ද පැතිර ගියේ යැයි පිලිප් බැල්දියෙක් පවසයි. ඔහුට අනුව 18 වන සියවස වන විට පහතරටට ආ බහු පුරුෂ විවාහ අදත් විරල වශයෙන් දකන්ට ලැබෙන අවස්ථා ඇත. පෘතුගීසි ලේඛකයෙකු වන රුබයිරෝ දක්වන ආකාරයට ඔවුන් මෙරටට පැමණි සමයෙහි ලංකාවේ “වැදගැම්මකට නැති විවාහ ක්‍රමයක්” වූ බව පැවසෙයි.පවුලක සහෝදරයන් කිහිපදෙනෙකු වේ නම් වැඩිමලා ගෙනා ස්ත්‍රිය අනෙක් සහෝදරයන් විසින් දිනෙන් දින එකිනෙක වාසයට ගන්නා බව ඔහු දක්වා තිබේ. මෙම විවාහ සම්ප්‍රදාය තුළ බාල සහෝදරයා කැඳවාගෙන එන ස්ත්‍රිය සමඟ සම්භෝගයේ යෙදීම සෙසු සහෝදරයන්ට තහනම් විය. එහෙත් ඔහුට සෙසු සහෝදරයන්ගේ ස්ත්‍රින් පිලිබඳ අයිතියක් පැවතුනි. එහෙත් සහෝදරයන් හත් දෙනෙක්  පමණක් එකගෙයි කමේ අයිතිය පැවති අතර අටවන සහෝදරයාගේ සිට එම අයිතිය අහිමි විය. නුවර යුගයේ රාජකීය පවුල් වල ද මෙය පහත දෙයක් නොවූ බව පෙනේ. 1884 අයිවර් ස්ගේ වාර් තා වලට අනුව එකල උඩරට බහු පුරුෂ විවාහ ඉතා ප්‍රකටව පැවත ඇත. මෙරට මෙම විවාහ ක්‍රමය භාවිතා කරන්නට හේතුවක් වූයේ පවුල් දේපල බෙදී යාමයි. ස්ත්‍රීන් මිට වැඩි කැමැත්තක් දක්වන ලද්දේ අගහිඟයකින් තොර විමත් දැඩි ආරක්ෂණයක් නිසා වේ. මෙකල පැවති රාජකාරි ක්‍රමය නිසා පවුලේ පිරිමියෙකුට ගෙදරින් පිටව දින ගණනක් වැඩට යා යුතු වුයෙන් නිවසේ ආරක්ෂාව සෙසු අය විසින් බලා ගැනීම නිසා එය එදා සමාජයට ගැළපුණි.

ලොව තවත් රටවල මෙම විවාහ ක්‍රමය ඇතිවන්නට හේතු වූයේ කාන්ත හා ළඳරු මරණ අනුපාතය වැඩි වීම හේතුවෙනි. දකුණු ඉන්දියාවේ “ටෝඩා” ගෝත්‍රය අතර මෙවැනි තත්වයක් පැවතුනි. ජෝන් ඩේයිල් දක්වන ආකාරයට ලංකාවේ ද ඌව, සබරගමු වැනි පළාත්වල ගැහැණු දරුවන් මරා දැමීමේ සිරිතක් පැවතුනු අතර දුප්පත්කම, අනියම් දරුලාභ,ග්‍රහ අඵල පිලිබඳ විශ්වාසයක් ද මිට හේතු වේ.

මෙම බහු පුරුෂ විවාහ අදත් උද පහත දෙපළාතේම දුර්ලභ වශයෙන් පවතින අතර විවාහ ලියාපදිංචිය ඇරඹමෙන්  පසු නිත්‍යානුකුලව විවාහය සිදුකරනු ලබන්නේ එක් සහෝදරයෙකුට පමණි.

හින්දු සංස්කෘතිය තුළ බහු විවාහය

ඉන්දියාව තුළ බහුතරයක්ම ජිවත් වන්නේ හින්දු ආගමට අයත් ජනතාවයි. හින්දු අගමික ග්‍රන්ථ වන “රාමායණය”, “මහා භාරතය”, “භගවත් ගීතාව” යන කිසිදු ආගමික ග්‍රන්ථයක් බහු විවාහය ප්‍රතික්ෂේප කර නැත. හින්දු ග්‍රන්ථ වල පරිදි තසරදර් , ක්‍රිෂ්ණා හට බොහෝ බිරියන් සිට ඇත. හින්දු ආගමෙහි ධර් ම ග්‍රන්ථ වලට අනුව රාමගේ පියාණන් වූ දසදර් හැටදහසක් භාර්යාවන් සමඟ විවාහ වී ඇත. මේ හින්දු සංස්කෘතියේ මහු විවාහ සංකල්පයේ ඉතිත කතාවයි.

හින්දු සංස්කෘතිය තුළ නියම විවාහය ලෙස සලකන ලද්දේ එක් සැමියෙකු එක් බිරිඳක් සමඟ විසීමයි. ඔවුන් දෙදෙනාට පිරිමි පුතෙකු නොලැබුණහොත් සැමියාට තවත් බිරියක් ගෙන ඒමේ අයිතිය ලැබිණි. එයද කොන්දේසි කිහිපයකට යටත්ව සිදු විය. එය කල් යාමේදී බ්‍රාහ්මණයන් විසින් සමාජගත කරන ලද නියමයක් අනුව බ්‍රාහ්මණයන්ට ද්විජාතක බැවින්  භාර්යාවන් දෙදෙනෙක්ද, ක්ෂත්රිය වෛශය යන දෙකොටසින් දෙදෙනෙක්ද, වෛශය ශුද්‍ර යන දෙකොටසට එක් බිරියක් බැගින්ද තබා ගත හැකි බව “වශිෂ්ට” දක්වා ඇත. මෙම ආගම තුළ තවත් සම්මතයක් පවතී.ඒ බිරිඳ වඳ දැයි සෙවීම සඳහා විවාහයෙන් පසු අට වසරක් ද, ඇය ගැබ් ගැනීමට සුදුසු තත්වයේ සිටිතැයි පෙනුණහොත් දස වසරක් දක්වා ද බිරිඳට දියණිවරු පමණක් ලබතොත් දොළොස් වසරක්ද කල් දී පුතෙකු සඳහා තවත් විවාහයක් කර ගතයුතු බවයි.

නීතියේ තහනම් කිරීම මත මෙම තත්වය වියැකී ගිය ද අප්‍රසිද්දව බහු විවාහ එම සංස්කෘතිය තුළ සිදු වේ.



ඉන්දියානු උප මහද්වීප ආශ්‍රිත බහු පුරුෂ සමාජ

බහු පුරුෂ සේවනය ස්ත්‍රීන්ගේ හිඟ බවය නිසා ඇති වී තිබෙන්නක් බව ද බොහෝ සමාජ විද්‍යාඥන්ගේ අදහසයි. ටිබෙටයේ කඳුකර ප්‍රදේශවලත්, දකුණු ඉන්දියාවේ නීලගිරි කඳු ආශ්‍රිත ටෝඩාවරුන්ගේත්, හිමාලය කඳු පාමුල ජිවත් වන පහාරි හින්දුවරු අතරත්, නේපාලයේ බොහෝ ප්‍රදේශවලත් මෙම විවාහ රටාව දක්නට ලැබෙන අතර විශේෂයෙන් ටෝඩාවරුන්ගේ සහ ටිබෙට්වරුන්ගේ ගැහැණු දරුවන් කුඩා කාලයේදීම මරා දැමීම නිසා විශාල වශයෙන් කාන්තාවන්ගේ හිඟයක් පවතී. ටිබෙටය වැනි විශාල වශයෙන් ඉඩම් හිඟය පවතින ප්‍රදේශ වලත් ඉඩකඩම් බෙදී යාම වැළක්වීමේ ක්‍රමයක් වශයෙනුත් බහු පුරුෂ සේවනය ක්‍රියාත්මක විය.එසේම පිරිමින් බොහෝ කාලයක් පිටස්තර ප්‍රදේශ වල රැකියවල නියුක්ත වීමත් නිසා ද බහු පුරුෂ විවාහය සිදු කෙරිණි.



දකුණු ඉන්දීය ටෝඩාවරුන්ගේ බහු විවාහ සංස්කෘතිය

පිතෘ මුලික ගෝත්‍රික සමාජයක් වන  දකුණු ඉන්දීය ටෝඩාවරු අතර සහෝදරයින් කිහිපදෙනෙක් සම්බන්ද වන බහු පුරුෂ සේවන විවාහ රටාව දක්නට ලැබේ. ටෝඩාවරුන්ගේ චාරිත්‍රයට අනුව ගැහැණියෙක් පිරිමියෙක් සමඟ විවාහ වීමත් සමඟ නිතැතින්ම එම ස්ත්‍රිය, පිරිමියාගේ සහෝදරයින්ගේත් බිරිඳක් බවට පත් වේ. ටෝඩාවරුන්ගේ චාරිත්‍රයට අනුව එක් බිරිඳක් සමඟ සහෝදරවරු කිහිපදෙනෙක් එකම නිවසක ජීවත් වේ.

විශාල වශයෙන් ගැහැණු ළමා මරණ අධික ටෝඩා සමාජයේ කාන්තාවන්ගේ හිඟය හේතු කොටගෙන බහු පුරුෂ සම්බන්දතාව මුල් බැසගෙන තිබුනත් බටහිර ජාතීන්ගේ බලපෑම් හේතුකොටගෙන ටෝඩා වැසියෝ වැඩි වැඩියෙන් ඒක විවාහ පවුල් කෙරෙහි උනන්දු දක්වති.  



ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ බහු විවාහයේ සම්භවය

ක්‍රිස්තියානි ආගම තුළ ද අතීතයේ බහු විවාහ සංස්කෘතියක් පැවතිණි. ඒ සඳහා ශුද්ධ වූ බයිබලය සාක්ෂි සපයයි.

සොලමන් රජු බහු විඅවාහ කරගත් බව බයිබලයේ සඳහන් වන අතර  ඒබ්‍රහම් රජු බහු විවාහ සිදු කළ බව තල්මුදික් ග්‍රන්ථයේ දැක් වේ.



මුස්ලිම් සංස්කෘතිය තුළ බහු විවාහයේ සම්භවය   

අද වන විට බහු විවාහය සිදු වනු දැකිය හැක්කේ ඉස්ලාම් ආගම තුළයි. අනෙක් ආගම් තුළද අතීතයේ බහු විවාහ සිදු වූ අතර අද වනවිට එම තත්වය වියැකී යමින් පවතී. ඒ නීතියෙන් අවසර නොමැති නිසා විය හැකිය. නමුත් අප්‍රසිද්දව සියළු ආගම් තුළ බහු විවාහ සිදු වේ.

අල්- කුරාණය පහල කළ යුගයේ එනම් දනට් ශතවර් ෂ 14කට පෙර අරාබි හා ලොව අනෙකුත් සමාජයන්හි ස්ත්‍රීන් අසීමිත සංඛ්‍යාවක් විවාහ කර ගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය විය. එම යුගයේ ඉස්ලාමයට විරුද්දව විවිධ යුද්ධ ඇති වූ අතර සෑම යුද්ධයක් අවසානයේදීම පිරිමින් විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් වැන්දඹ වූ ස්ත්‍රීන් හා අනාථ දරුවන් විශාල ප්‍රමාණයක් ඇති වූ අතර ඔවුන් රැක බාල ගැනීම සමාජයේ ජිවත් වූ අයගේ වගකීම විය. මින් පළමුවෙන්ම දන්වා සිටිනුයේ අනාථදරුවන් යහ අයුරින් රැක බලා ගැනීමේ වගකීම නිසි ලෙස ඉටුකිරීම මුල් කරගෙන බහු ස්ත්‍රී විවාහ සඳහා යොමු වන ලෙසයි. ඒ අයුරින් ඉස්ලාමය අදටද බහු විවාහය සඳහා අනුමැතිය ලබා දෙයි.

ඉස්ලාම් අගම තුළ බහු විවාහ සිදු කර ගැනීමට අවසර ලැබෙන්නේ පුරුෂයාට පමණි. ස්ත්‍රියට බහු විවාහකර ගැනීමට අවසර නොලැබේ. එහෙයින් ඉස්ලාම් අගම තුළ සිදුවන්නේ  බහු භාරයා විවාහයි. ප්‍රතිපත්තිමය වශයෙන් ඉස්ලාම් ධර් මය තුළ එකවර බිරියන් සිව්දෙනෙකු සමඟ විවාහ ජීවිතය ගත කිරිමට අනුමැතිය දෙයි. ඒ කොන්දේසි සහිතවය. පුරුෂයෙක් තමන් සමඟ විවාහ වන සියළු ස්ත්‍රීන්ට සදාරණය ඉටු කිරීම හා නඩත්තු කිරීම එම කොන්දේසියයි. එය අපොහොසත් පුද්ගලයෙක්ට බහු විවාහය සම්පුර්ණයෙන්ම තහනම්ය. ශාරීරික අවශ්‍යතාවන් හා ආර්ථික හැකියාවන් ඇති අය වැන්දබු කාන්තාවන් විවාහ කරගත හැකිය.

නිදසුනක් වශයෙන් මුහම්මද් (සල්) තුමන්ද සිය පළමු බිරිඳ වන කදිජා තුමිය විවාහ කර ඇය සමඟ පමණක්  ඇයගේ මරණය වන තෙක් වසර 25ක් ජිවත් වුහ. ඉන්පසුවද එතුමන් විවාහ වූ කාන්තාවන්ගෙන් තරුනුයකට සිටියේ ආයිෂා මවුතුමිය පමණි. අන් සියල්ලන්ම වැන්දබු කාන්තාවන් විය.

ඉස්ලාම් ආගම එක් කාන්තාවක් පුරෂයින් කිහිපදෙනෙක් විවාහ වීම අනුමත නොකරන්නට විවිධ කරණා පෙන්වා දෙයි. පවුල් සංස්ථාව නඩත්තුවේ වගකීම ඇත්තේ පියාටය. ඒ අනුව යම් ලෙසකින් භාර්යාව වැදූ දරුවන්ගේ පිතෘත්වයේ සැකයක් මතු වූ විට එම පවුලේ සමඟිය බිඳී  යනු ඇත. එසේම එක් ස්ත්‍රියක් පුරුෂයින් කිහිපදෙනෙක් විවාහ කර ජීවිතය ගෙන යයි නම් ඇය සම්නග ගත කරන දින ගණන පිලිබඳ පුරුෂයින් අතර ගැටුම් ඇති වෙන බැවින් බහු පුරුෂ විවාහ සිදු නොකිරීමට කටයුතු යොදා ඇත.  

මේ ආකාරයෙන් විවිධ සංස්කෘතීන් තුළ බහු විවාහය සිදු කිරීම අතීතයේ සිට පැවතිණි.



Tuesday, May 2, 2017

වෙසක් සිසිලෙන් ලොවම සැනහේවා


වෙසක් සිසිලෙන් ලොවම සැනහේවා!!!!!  


බෞද්ධයන්ගේ ප්‍රධාන ආගමික උත්සව අතරින් මුල් තැනක් වෙසක් උත්සවයට හිමිවෙයි.එය යෙදෙන්නේ මැයි මස පුරපසළොස්වක පොහොය දිනයට යි.

බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වන් වෙසක් උත්සවයේ නිමිත්ත ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ.623 මැයි මස පසළොස්වක පොහොය දිනයේ සිදු වූ බුදුරජාණන් වහන්සේගේ උපත, ක්‍රි.පූ.588 මැයි මස පසළොස්වක පොහෝ දින සිදු වූ බුද්ධත්වයට පත් වීම සහ ක්‍රි.පූ.543 මැයි මස පසළොස්වක පොහෝ දින සිදු වූ පරිණිර්වාණය යන කාරණාත්‍රය යි.

වෙසක් පුන් පොහෝ දින බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් (තෙමඟුල) සැමරීමෙන් උන්වහන්සේගේ ජීවිත කාලය තුළ සිදුකළ මහා මානව මෙහෙවර ඇගයීම සහ උන්වහන්සේ වදාළ මාර්ගයට අවතීර්ණ වීමට සිත මෙහෙයවීමකි.

බෞද්ධයෝ තම සිතෙහි තිබෙන භක්තිය,ශ්‍රද්ධාව නිරූපණය සඳහා විවිධ වූ ක්‍රියාකාරකම් වෙසක් සමය තුළ සිදු කරති.ප්‍රත්පත්ති හා ආමිස පූජා වශයෙන් පුණ්‍ය ක්‍රියා වලට සහභාගී වෙයි. සිල් රැකීම්, දන් දීම් හා භාවනා කිරීම ආදිය ප්‍රතිපත්ති පූජා වශයෙන් ද, වෙසක් පහන්, වෙසක් තොරණ,සැරසිලි හා වෙසක් පෙරහැර ආදිය ආමිස පූජා වශයෙන් ද සිදු කරමින් බුදුන් වහන්සේට ගෞරව දක්වමින් පිලිවෙත් සිදු කරයි.

මුළු රටේම බෞද්ධයන් පොදු අරමුණින් හා ආගමික භක්තියෙන් යුතුව පවත්වනු ලබන උත්සවයක් නිසා මෙහි තිබෙන සමාජයීය හා ආගමික අගය ඉතා ඉහළය. සමාජයීය හවුලක් නිර්මාණය වීම ආදී අවස්ථා ද ඇති වේ. අද වන විට ඒ නිර්මාණය වූ එකමුතුවෙන් දිනා ගත් දෑ බොහෝය. ඒ අතර වෙසක් පොහොය නිවාඩු ලබා ගැනීම, වෙසක් සතිය තුළ සත්ත්ව ඝාතනය තහනම් කරවීම සහ මස් විකිණීම තහනම් කිරීම ඉන් කිහිපයකි.

අද වන විට වෙසක් පොහෝ දිනය වෙනුවෙන් වෙසක් සතිය වශයෙන් වෙසක් කලාප වෙන් කරමින් අවකාශය විහිදුවා ඇත. මෙදින පවත්වන දන්සල්, වෙසක් තොරණ,රාත්‍රියේ වෙසක් නැරඹීම හා පහන් කූඩු ද වෙනමම සංස්කෘතියක් නිර්මාණය කරයි. වෙසක් පොහොය දින  බහුතරයක් දෙනා මේ කටයුතු වලට සම්මාදම් වෙයි.

අතීත රජවරුන් ද වෙසක් පුන් පොහෝ දිනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පියවර ගෙන ඇත. අද ද වෙසක් උත්සවය සඳහා රාජානුග්‍රහය නොමදව ලැබේ. සියළු දෙනා ම එක් වී ආමිසයෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් මෙදින පුණ්‍ය ක්‍රියා වල නියැලීම වැදගත් ය.

ඉෂානි හංසිකා අමරදිවාකර